#අම්මී
ජීවිතයේ වැඩිම වාර ගණනක් මා කියන්නට ඇති වචනය එයයි.
අම්මී පෙනෙන්නට නොසිටි විටෙක
ඇය වත්තට ගොස් එහෙම නැතිනම් වැසිකිළියට ගොස් හෝ මට ඈ සිහිවන විට ඇය නොසිටියොත්
"අම්මී" යැයි අප්පච්චීට හෝ පෙනෙන මානයේ කවුරුත් නොසිටියහොත් ඇස්
රතුකරගෙන හිස් අවකාශයට හෝ හඩ ගෑම කුඩා කල මගේ පුරුද්දයි.
පුංචිම පුංචි දැරියක් ව සිටි කාලයේ නැලවිලි ගී කියමින් ඇය
මා නැලවුහැටි, මට බත් කැවු හැටි අද ඊයේ මෙන් මට මතකය.ඈගේ උණුහුමට ගුලිවී නිදා ගත්
ඒ කාලයේ ජිවිතය කෙතරම් සුන්දරද. එකල මගේ මුළු ලෝකයම ඈ වටා ගොඩ නැගී තිබුණු අපුරුව
මතක් වන විට ආයෙත් ඒ කාලයට ගොස් හුස්ම වැටෙන තුරා ඈ සමීපයේ දිවි ගෙවන්නට ඇත්නම්
කෙතරම් අගනේ දැයි මට සිතේ.
අද මවක් වී මා පුතු නලවන හැම මොහොතක් පසාම නිදි වරමින්
පුතු සනසන හැම රැයක් පුරාම ඈ මා වෙනුවෙනුත් අද තරම් පහසුකම් නොතිබුණු එකල කෙතරම් නම්
වෙහෙස වන්නට ඇත් දැයි සිහිවන විට ඇස් අගින් උණු කදුළු කැට රෑරා එයි.
එකල මෙන් අදද කොහේ හෝ ගොස් ගෙට ගොඩ වන විට ඈ නැති නිවස
නිවසක් වූයේ නැත.මා ගෙට ගොඩ වන විට දොරකඩ ඇගේ සිනහව නැති වූ හැමදිනකම මහා මුසල
ගතියකින් මුළු නිවසම වෙලා ගත් සෙයක් මට හැගුනි. මෙකල කාර්යාලය නිමා වී රෑ කලුවරේ
තනිව දොරවල් ඇරගෙන ගෙට ගොඩ වෙන විට ඇගේ හිනාවක් දොරකඩ පිපෙන්නේ නම් කෙතරම් අගනේ
ද..
එහෙත් ඈ කිලෝමීටර් ගණනක් ඈත ය. මට ඈ ඕනෑම වග හිතෙන්නේ
මෙහෙම වෙලාවට ය.
කාටත් හොරා කදුළු වැල් රෑරා එන්නේ එවිට ය.
